Phishing techniques: Contest winner scam-ඉක්මන් සතුටත් ඇති හොදටම රැවටෙන්න
ඉපදුන දවසේ ඉදං ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන, පරාජයන් වලට මූණ දෙන අපිට ඉදලා හිටලා හරි ජයග්‍රහණයක් ලැබුණොත් කොච්චර සතුටක්ද? මම, ඔබ, අපි හැමෝම ජීවිතේ අත්විදලා තියෙන දේවල් එක්ක පුංචි ජයග්‍රහණයක් වුණත් මහා මෙරක් වගේ සළකන්නේ ඒකනේ. කොටින්ම ෆෝන් එකට දුරකත සමාගමෙන් offer එකක් විදියට රුපියල් 50ක reload එකක් ලැබුණත් free data bundle එකක් ලැබුණත් අපිට ඒක ලොකු දිනුමක්. එහෙනම් ඉතින් හිතන්නකෝ ලොතරැයියක් ඇදිලා රුපියල් මිලියනයක් වගේ set වුණොත් කොහොම ඇත්ද? ඒ සතුට නම් දරාගන්නත් බැරි වෙයි ! මිනිස්සුගේ මේ පුංචි අහිංසක බලාපොරොත්තු ආසාවල් ඉලක්ක කරලා, රවට්ටන්න ඉතා ලේසි විදියක් බවටත් මේ දිනුම් තරඟ, එහෙමත් නැතිනම් Contest නිර්මාණය වෙලා තියෙනවා.
වර්තමානය වෙනකොට මේ Contest Winners කියන සංකල්පය ලෝකය පුරා අන්තර්ජාලය පුරා පැතිරී යන සංකල්පයක්. බොහෝ ආයතන තම ප්‍රවර්ධන කටයුතු වලට, තම පාරිභෝගික පිරිස වැඩි කරගන්න, එහෙමත් නැතිනම් නිෂ්පාදන වැඩි වැඩියෙන් අලෙවි කරන්නත් මේ Contests පවත්වනවා. එවිට එමඟින් ලැබෙන විවිධ ජයග්‍රහණ සහ තෑගී ගන්න ගොඩක් අය ඒ වටා එකතු වෙනවා. ඇත්ත වශයෙන්ම සමහර ලොව ඉතා ජනප්‍රිය සමාගම් විවිධ තරඟ හරහා දිනන ජයග්රාහකයින්ට වටිනා ත්‍යාග දෙන නිසා බොහෝ අය ඉතා විශ්වාසයෙන් එම Contests වලට සහභාගීත් වෙනවා. මෙන්න මේ තත්වය වාසියකට පත් කරගත්ත විවිධ කණ්ඩායම් මොකද කරන්නේ, ව්‍යාජ තරඟ අන්තර්ජාලය හරහා ජනප්‍රිය කරලා අහිංසක මිනිස්සු රවට්ටනවා. මේවට අපි Contest Winners Scams, එසේත් නැතිනම් තරඟ ජයග්‍රාහක වංචා කියලා කියනවා.
හිතන්නකෝ ඔයාගේ ෆෝන් එකට sms එකක් එනවා ඔබ කිසියම් තරඟයක ජයග්‍රාහකයෙක් වෙලා තිබෙනවා, එම ත්‍යාගය ලබාගන්න මෙම අංකයට ඇමතුමක් ගන්න කියලා. ඉතින් කවුද අකමැති තෑග්ගක් ලබාගන්න. ඉතින් ඔබ වහාම ඒ අංකයට call කරලා විස්තර අහනවා. එවිට මොකද එයාලා කියන්නේ? හරිම වැදගත් ලස්සනට ඔබට සර්, මැඩම් කියලා ගරු දීලා කතා කරලා ඔබට සුබ පතලා පිළිගන්නවා. හොඳ ලස්සන විස්තරයක් කියලා අවසානයට, “සර්, ඔයාගේ තෑග්ග පිට රට අපේ මව් සමාගම හරහා තමයි එවන්නේ. ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්න අපි දෙන මේ අංකයට කුඩා මුදලක් තැන්පත් කරන්න වෙනවා. අපි ඔබට ඒ බැංකු විස්තර ලබාදෙන්නම්, මේ දිනයට කලින් සල්ලි දාන්න සර්” කියනවා. ඉතින් ලැබෙන තෑග්ග එක්ක බලද්දී ඕක මොකක්ද කියලා කාගෙන් හරි ණයට අරගෙන හරි අපි ඒ සල්ලි දාලා පෙර මඟ බලං ඉන්නවා එයාලගෙන් ආපහු call එකක් හරි sms එකක් හරි ඒවි කියලා. හැබැයි එහෙම ඒවිද? නෑ..ආයේ කවදාවත් එයාලව හොයාගන්නවත් බැරි වෙනවා.අර දුරකථන අංක පවා වැඩ කරන්නේ නැතිව යනවා. ඒ කියන්නේ ඔබ ඉතා ලොකු වංචාවකට හසු වෙලා තියෙනවා !
අපි ඔය කිව්වේ Contest Winners Scams වෙන්න පුළුවන් එක් උදාහරණයක් පමණයි. සමහරවිට ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති. එවැනි වංචා වලට හසුවෙන්න ගිහින් නූලෙන් බේරිච්ච අවස්ථාත් ඇති, එහෙම නේද? හරි, මීට පස්සේ ඔයාලට එහෙම නොවෙන්න මේ Contest Winners Scams ගැන අපි හැම දෙයක්ම කියලා දෙන්නම්.
Contest Winners Scams හැඳින්වීම
ඔයා මේ වෙනකොටත් අපේ article හරහා Phishing ගැන ඉගෙන ගෙන ඇති. Phishing යනු cyber attacks කරන අය අන්තර්ජාල පරිශීලකයින් නොමඟ යැවීමට යොදාගන්නා උපක්‍රමයක්. Phishing Scams වර්තමානයේ පැතිරී පවතින භයානකම වංචා ආකාරය ලෙසයි සැළකෙන්නේ. මේ Phishing වල එක් ආකාරයක් තමයි අපි අද මේ කතා කරන Contest Winners Scams කියන්නේ. ලොව පුරා ක්‍රියාත්මක cyber attacks සිදුකරන වංචනිකයින් මෙම ක්‍රමය තෝරාගෙන තියෙන්නේ ඉතා පහසුවෙන් පුද්ගලයින් අල්ලගන්න පුළුවන් නිසයි.
Phishing Attacks වල භාවිතා වන Strategies
දැන් අපි බලමු කොහොමද අන්තර්ජාලය හරහා මේ වගේ phishing attacks සිදුවන්නේ කියලා. අන්තර්ජාලය හරහා ඔබ මොනවා හරි සොයන්න වෙබ් අඩවියක් පරිශීලනය කරනකොට එකවරම ඔන්න ad එකක් display වෙනවා, “Congratulations User …” හෝ “You are the chosen …” හෝ “You are the winner of our Promotional Contest” වගේ ඔයාගේ අවධානය ගන්න පුළුවන් ආකාරයෙක් පණිවිඩියක් එක්ක. ඔයා කරන්න ආපු වැඩේ පොඩ්ඩකට නවත්තලා බලනවා මොකක්ද මේ වෙන්න යන වාසිය කියලා. දැන් දැන් ගොඩක් අයනම් මේ වගේ ඒවා ගැන යම්කිසි දැනුමක් තියෙන නිසා පොඩ්ඩක් සැළකිලිමත් වුණත් සමහර අය ඒ ad එක click කරලා බලනවා මොකක්ද මේ කියන්නේ කියලා.
ගොඩක් වෙලාවට අන්තර්ජාලයේ හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් නම් මේවා ගැන විමසිලිමත් නිසා බේරෙනවා. ඒ වගේම බොහෝ ad networks හරහා එවැනි දැන්වීම් ප්‍රචාරණය කිරීමක් සිදු නොකරන බව දන්න නිසාත් ප්‍රවේශම් වීමට වග බලා ගන්නවා. හැබැයි, කුඩා ළමයෙක් හරි, අන්තර්ජාල පරිශීලනය ගැන වැඩි දැනුමක් නැති කෙනෙක් හරි මෙවැනි ආකර්ශනීය ad එකක් දැක්කම ආසාවට click කරනවා ඒ කියන ජයග්‍රහණය ලබාගන්න. නමුත් අවාසනාවට මොකද වෙන්නේ? ඒ click එක හරහා අදාළ user අරගෙන යනවා කිසියම් හානිකර වංචනික වෙබ් අඩවියකට. ඒ සමඟම ප්‍රහාරයට ගොදුරු වෙන කෙනාගේ පරිගණකයට හෝ ජංගම උපාංගයට හානිකර මෘදුකාංගයක්, අපි කවුරුත් දන්න malware එකක් download වෙලා ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා.
මෙම Phishing Scams, emails හරහාත් එන්න හැකියාව තිබෙනවා. බොහෝවිට එම emails වල links අඩංගු වෙන අතර ඔබට ලැබෙන එම email එක කිසිම අඩුපාඩුවක්, වැරද්දක් නැති genuine email එකක් ලෙසයි පේන්නේ. ඉතින් එහෙම වුණාම අපිට හිතෙනවා මේක click කරලා බලන්න ඕන, ඉන් හානියක් වෙන එකක් නෑ කියලා.ඉතින් එහෙම link එක click කරලා ගියාම බොහෝවිට ලැබෙන්නේ පුද්ගලික තොරතුරු ලබාදෙන්න කියලා ඉල්ලා සිටින form එකක් වගේ වංචාකාරී ක්‍රමවේදයක්. නමුත් මතක තියාගන්න, මේ හැම එකක්ම පිටුපස තියෙන්නේ ඔබව අවධානමක හෙලන්න පුළුවන් වෙබ් අඩවියක් කියන එක.
“Congratulations You Are Todays Winner” Source: PCrisk.com
බලන්න අපි ඔය ඉහළින් ඉදිරිපත් කරලා තිබෙන image එක දිහා. ඉන් පැවසෙන්නේ ඔබ තමයි අද ජයග්‍රාහකයා කියලා. ඉතින් ඒ වගේ එකක් දැක්කම කාටද පොඩ්ඩක් click කරලා ඉස්සරහට යන්න හිතෙන්නේ නැත්තේ, නේද? ඔබට තියෙන්නේ Ok කරන්න විතරනේ. ඉතින් මොකක්ද මේ ජයග්‍රහණය කියලා දැනගන්න තියෙන කුතුහලය නිසාම click කරලා බලනවා. නමුත් මතක තියාගන්න මේ todayswinner.club phishing scam කියන්නේ අපි මේ කතා කරන ආකාරයේ වංචාකාරී සිදුවීමක් කියලා. එහිදී මෙම attack කරන අයට පුළුවන් victim, ඒ කියන්නේ අගතියට පත් වෙන කෙනාගේ පරිගණකයට ඇතුල් වෙන්නත්, ඔවුන්ගේ තොරතුරු වංචනික ලෙස එකතු කරගන්නත්.
Scammers මෙහිදී ඔබගෙන් අහනවා ඔබගේ ඉතා වටිනා sensitive තොරතුරු. ඔබගේ නම, email ලිපිනය, මුදල් ගෙවන ආකාරය, මුදල් ගෙවන කාර්ඩ් පත් වල විස්තර, ඒ විතරක්ම නෙවෙයි ඔබ ජයග්‍රහණය කළ තෑග්ග එවිය යුතු ලිපිනය පවා අසා සිටිනවා. ඉතින් එහෙම උනාම ඔබට උණත් හිතෙන්නේ පුළුවන් මේක නම් ඇත්ත වගේ, මට මේ තෑග්ග ලැබෙයි කියලා. තව සමහර අවස්ථා වලදී ඔබගේ Social Security Number එක, ඒ කියන්නේ ඔබගේ tax ලිපි ලේඛන වලට අදාළ අංකය පවා ඔවුන් ඉල්ලා සිටිනවා. මෙවනි තොරතුරු ඉල්ලා සිටින්නේ ඔබගේ අනන්‍යතාවය ඔවුන්ට තහවුරු කරගන්න අවශ්‍ය නිසා බවයි ඔවුන් ඔබට අඟවන්නේ. ඔබත් ඉතින් හිතනවා ඒක හරි, ඒ නිසා මේ තොරතුරු දුන්නට කමක් නැහැ කියලා.
අන්තර්ජාලයේ සැරිසරන ඔබ වෙබ් අඩවි කීයක නම් register වෙලා ඇත්ද? ඔබට මතකත් නැතුව ඇති එහෙම register වූ වෙබ් අඩවි වත් මොනවාද කියලා. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙනවා අපේ එකම email එක දෙනවා වගේම එකම මුරපදයත් එම සෑම වෙබ් අඩවියකටම දෙන්න. මොකද අපි කම්මැලිකමක් දක්වනවා වෙනස් මුරපද භාවිතා කරන්න. අනිත් එක ඒවා නැවත නැවත මතක තියාගන්නත් බැහැනේ. නමුත් ඔබ දන්නවද? Phishing Scams ප්‍රහාර එල්ල වෙන්න පුළුවන් තවත් ආකාරයක් තමයි අන්තර්ජාල පරිශීලකයින් එකම මුරපදය සෑම online ගිණුමකටම භාවිතා කිරීම. මෙවිට දක්ෂ hacker කෙනෙක්ට පුළුවන් මුරපද guess කිරීමෙන් ඔබගේ වෙබ් අඩවි ගිණුම් hack කරන්න. ඉතින් hack කිරීම හරහා ඔබගේ පුද්ගලික තොරතුරු ඔවුන්ට ලබාගන්නත් ඒ ඔස්සේ ඔබගේ මුදල් වලට පවා හානි වෙන්නත් පුළුවන්. අවසානයේ ජයග්‍රාහකයෙකු වෙන්න ආසාවෙන් සිටි ඔබ අන්තර්ජාලය ඉදිරියේ අන්ත පරාජිතයෙකු බවට පත් වීමේ ඉඩකඩ පවා තිබෙනවා.
ඔබ කොහොමද ආරක්ෂා වෙන්නේ?
දැන් ඔබට තේරුම් යන්න ඇති මේ අවධානම කොයි වගේද කියලා. එහෙනම් දැන් අපි බලමු කොහොමද මෙවැනි දේවල් වලින් බේරිලා ඉන්නේ කියලා.
“දවසේ ජයග්‍රාහකයා ඔබයි” කියලා දැක්කම කාටද click කරන්න හිතෙන්නේ නැත්තේ. නමුත් මතක තියාගන්න, මේ වෙනකොට අන්තර්ජාලයේ සාමාන්‍ය දෙයක් බවට මෙය පත් වෙලා ඉවරයි. ඔබට විතරක් නෙවේ, දිනපතා ලොවපුරා මිලියන ගණනක් වන අන්තර්ජාල පරිශීලකයින්ට මෙවැනි අවස්ථා වලට මුහුණ දීමට සිදුවෙනවා.
තාක්ෂණික වශයෙන් මෙවැනි දේවල් වලින් බේරෙන්න නම් ඔබට කළ හැකි දේවල් කිහිපයක් තිබෙනවා. වෙබ් browser වල ඇති අනවශ්‍ය ads block කරන addons සහ pop-up ads block කළ හැකි ads blocker වැනි ක්‍රමවේද යොදාගන්න පුළුවන්.
මොන දේ කළත් මෙහිදී ඔබ දැනගත යුතුම දෙය තමයි ඔබගේ ආරක්ෂාව ඔබේ අතේ ඇති බවයි. ඒ මොකද කියනවා නම් iphone එකක් ජයග්‍රහණය කර ඇති බව ඔබට පැමිණි සැණින් එය විශ්වාස කර click කිරීම නොකළ යුතුයි. වැඩි ආකර්ෂණයක් සහිතව නිරූපණය කරන ads වල කුමක් හෝ සැඟවුණු හානියක් ඇතිබව ඔබ තේරුම් ගන්න ඕන.
ඒ වගේම ඔබ කිසිම තරඟයකට කිසිම ලෙසකින් සම්බන්ධ වී නැතිනම් ඔබට තේරෙන්නේ ඕන කොහොමද මං මේකෙන් ජයග්‍රහණය කලේ කියලා. සරලව කිව්වොත් ඔබ මහජන සම්පත ලොතරැයියක් මිළදී ගත්තේ නැතිනම් ඔබට මහජන සම්පත සුපිරි තෑග්ග ලැබෙන්න විදියක් නෑනේ, නේද? අන්න ඒ වගේ මෙහෙම එක පාරටම දිනුමක් ලැබෙන්න, ජයග්‍රහණයක් ලැබෙන්න ඔබට අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. අනිත් කරුණ තමයි නිසියාකාරයෙන් සිදුවෙන සත්‍ය දිනුම් ඇදීමක් හෝ තරඟයක් ගැන අදාළ ආයතන pop-up ads වගේ ක්‍රම භාවිතා කර ප්‍රචාරණය කරන්නෙත් නැහැ.
තවත් දෙයක් තිබෙනවා. ඔබගේ තෑග්ග ලබාගන්න ඔවුන් ඔබට සිදුකර ඉක්මන් බලපෑම. ඇත්තෙන්ම ඔබ ජයග්‍රාහකයා නම් ඇයි ඔවුන් ඔබේ පුද්ගලික විස්තර ඉක්මණට ලබාදෙන්න කියලා හදිස්සි කරන්නේ. ඒ වගේම එම තෑග්ග ලබාගැනීමට ඔයා කටයුතු කරන්නේ නැතිනම් ඒක වෙන කෙනෙක්ට යාවි කියලා ඔබව pressure කරන්නේ ඇයි. එහෙම කරන්නේ අනිවාර්යෙන්ම ඒ තුළ කිසියම් සැඟවුණු රහසක් තිබෙන නිසාම තමයි. අන්න එකත් ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන.
ඊළඟට, ඔබ නිසැකයෙන්ම කිසියම් දෙයක් ජයග්‍රහණය කරලා තියෙනවා නම් ඇයි ඔබ ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්නේ. ඔවුන් ඔබේ තෑග්ග ලබාදීමට මුදල් ඉල්ලා සිටිනවා නම් එතන ජයග්‍රහණයක් තියෙන්න හැකියාවක් නැහැනේ. Scammers ලා කරන්නේ ඔබව රවටා මුදල් අරගෙන තෑග්ග නොදී සිටීමයි. නමුත් ඒකේ තියෙන බයානකම ප්‍රතිඵලය තමයි ඔබ ඔවුන්ට මුදල් ගෙවීමේදී ලබාදුන් credit cards සහ බැංකු වල සියලු තොරතුරු ඔවුන්ගේ අතට පත්වීමයි !
තවද ඔබට පුළුවන් anti-phishing utilities භාවිතා කිරීමෙන් අන්තර්ජාලය තුළ ඇති හානිදායක වෙබ් අඩවි හඳුනා ගන්නත් ඒවා block කරන්නත්. ඒ වගේම ඔබට අන්තර්ජාලයේ ඒ ඒ අවස්ථා වල මුණගැසෙන අන්තරාදායක දේවල් ගැන alerts ලබාදීමත් සිදු කරනවා. බොහොමයක් web browser වල මෙවැනි phishing filters කුඩා යෙදවුම් ලෙස පවතින අතර ඔබට ඒවා භාවිතා කරන්න පුළුවන්.
පුද්ගලයින් ලෙස තනි තනිව තම ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙලා ඉන්න එක වගේම ආයතන තුළ වැඩ කටයුතු කිරීමේදී phishing training program හරහා සේවකයින් දැනුවත් කිරීමද ඉතා වටිනවා. එවැනි training වැඩසටහන් වලදී phishing ගැන හොඳ අවබෝධයක් ලබාදෙන්න phishing simulator භාවිතා කරන්න පුළුවන්. එවිට phishing ගැන නොදන්නා සැමට ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදී phishing attacks හඳුනා ගන්නත්, ඒවාට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබාදෙන්නත් හැකියාව ලැබෙනවා.
ඔබ මෙවැනි scam එකකට හසු වෙලා නම් මොකද කරන්නේ?
ඔන්න හිතන්නකෝ ඔබට වෙබ් අඩවියක් හරහා BMW කාර් එකක් ජයග්‍රහණය කර තිබෙනවා කියලා email එකක් ආවා කියලා. ඒ වගේ අවස්ථාවක් කවුද මඟ හරින්නේ. ඔබත් එය click කරලා ඉල්ලපු විදියටම ඔයාගේ පුද්ගලික තොරතුරු ටික ලබාදෙනවා. නමුත් ඔබ දන්නෙම නැතුව ඔවුන්ගේ උගුලට හසුවෙලා අවදානම් තත්වයකට පත් වුණොත් මොකක්ද මීළඟට කරන්නේ? හරි, අපි දෙන්නම් උපදෙස ඔබ දැන් මොකක්ද කරන්න ඕන කියලා.එවැනි දෙකට ඔබ හසු වුනොත් වහාම එය report කරන්න. එක් ආකාරයක් තමයි ඔබ Federal Trade Commission (FTC) එක. මෙය පාරිබෝගිකයන්ගේ ආරක්ෂාවට කටයුතු කරන ඇමරිකානු ආයතනයක්. ඒ වගේම ඔබට Fraud.org සංවිධානයටද ඔබේ පැමිණිල්ල online ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට ඔවුන්ගේ උපදෙස් ලබාගැනීමෙන් අගතියට පත්වූ බැංකු විස්තර, ගිණුම් අංක, credit card තොරතුරු ආදිය කොහොමද නැවත නිරවුල් කරගන්නේ කියලා දැනගන්න පුළුවන්.
ඒ වගේම වහාම ඔබේ බැංකුවට කතා කරලා ඔබේ credit card එක cancel කරන්නත්, බැංකු ගිණුමෙන් මුදල් යැවීම වළක්වන්න යයි ඉල්ලීම් කරන්නත් අමතක කරන්න එපා ! මේ හරහා ඔබගේ නමින් වෙනත් බැංකු ගිණුම් open කරන එක සහ දැනට ඇති ගිණුම් වෙනස් කිරීම වළක්වා ගන්නත් පුළුවන්.
තෑග්ග ගෙදරට ගෙන්න ගන්න ඕන නිසා ගෙදර ලිපිනයත් දුන්නද? එහෙනම් ඔබේ ළඟම post office එකට ගිහින් හොයලා බලන්න ඔබගේ ලිපිනය වෙනස් කිරීමට කිසියම් කෙනෙක් ඉල්ලීම් කරලා තියෙනවද කියලා.
ඔබ මේ හැම උගුලටම අහු වුණේ පරිගණකය, ලැප්ටොප් එක හෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා නම් වහාම අදාළ උපාංගයේ ඇති security software හෝ anti virus මෘදුකාංගය හරහා scan එකක් කරලා බලන්න. ඒ හරහා ඔබට කිසියම් අනවශ්‍ය හානිකර මෘදුකාංගයක් උපාංගය තුළ ඇත්නම් ඉවත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒත් ඔබට කිසියම් සැකයක් තියෙනවා නම් ඔබගේ පරිගණකය format කරලා දාන්න. එවිට අලුත් OS එක install වී පරණ දේවල් සියල්ල ඉවත් වෙලා යාවි.
අවසාන වශයෙන් ඔබට ඉතා වටින අන්තර්ජාල ගිණුම්, විශේෂයෙන්ම් email, facebook, bank account වගේ sensitive data ඇතුළත් ඒවායේ username සහ password මාරු කරලා දාන්න.
එහෙනම් අපිට අවසාන වශයෙන් ඔබට නැවත මතක් කරන්න වෙන්නේ “You have won!” කියලා කොහෙන් හරි එක පාරට මතු වුණොත්, ඒ කියන්නේ එක බොරුවක්, වංචාවක්, ප්‍රෝඩාවක් ! ඒ කියන්නේ scam එකක්. Email සහ වෙබ් අඩවි හරහා තමයි ඔබට ඒවා ලැබෙන්නේ. ඒවා ගැන සැකයෙන් බලන්නත් ඒවාට ප්‍රතිචාර නොදක්වා ඉන්නත් ඔබ දන් පුරුදු වෙන්නම ඕන.
බොහෝවිට මෙවැනි ජයග්‍රහණ, ඔබට ලොව නම් දරා සිටින ආයතන සහ සමාගම් වලින් එන ආකාරයට තමයි ලැබෙන්නේ. මෙවැනි ජයග්‍රහණයක් ඔබට ලැබී තිබෙන බව දැනගත්තොත් අදාළ ආයතන වල දුරකථන අංක අමතා ඒ ගැන විස්තර අහගන්න. ඔවුන් එවිට තහවුරු කරාවි එවැනි තරඟයක් හෝ වැඩසටහනක් ඔවුන් කරනවද නැද්ද කියලා. ඔවුන් ඒ ගැන දැනුවත් වීම තුළින් ඔබ වැනි තවත් බොහෝ දෙනෙක් මෙවැනි scams වලින් බේරාගන්නත් ඔබට අවස්ථාව උදා වෙනවා.
Emails, display ads සහ pop-up ads හරහා ලැබෙන මෙවැනි online scams වලට ඔබගේ තොරතුරු ලබාදීමෙන් වළකින්න. එහෙම නැතිනම් ඔබට වෙන්නේ වෙනත් කෙනෙකු ජයග්‍රහණය කරවන්නයි !