Kali Linux වලට කොහොමද අපි කවුරුත් දන්න Zoom කියන මෘදුකාංගය install කරන්නේ?
පැතිරුණු කොරෝනා වසංගතයත් සමඟම කරළියට ආපු අලුත්ම මෘදුකාංගය තමයි මේ Zoom කියන්නේ. වීඩියෝ සම්මන්ත්රණ, ඒ කියන්නේ විවිධ ස්ථාන වල සිටින අයට අන්තර්ජාලය ඔස්සේ Video Conference තියන්න, රැස්වීම් පවත්වන්න වගේ සන්නිවේදන කටයුතු වලට මේ Zoom භාවිතා වෙන්න පටන් ගත්තා. Windows, Mac OS, Android සහ IOS වගේ මෙහෙයුම් පද්ධති සමඟ Zoom භාවිතා කිරීම වඩාත් පහසු වුණා. නමුත් අපි මේ කතා කරන්න හදන්නේ අපේ පාඩම් මාලාවට අදාළ Kali Linux සමඟ කොහොමද මේ Zoom install කරලා භාවිතා කරන්නේ කියලා.
Zoom මෘදුකාංගය අනිත් මෙහෙයුම් පද්ධතීන් වල වගේම kali Linux වලත් install කරන්න පුළුවන්. අපි ඉතා පැහැදිලිව සහ ගැඹුරින් ඒ ගැන මේ පාඩමේදී කතා කරනවා. ඒ නිසා කලබල වෙන්න එපා !
Debian මත රඳා පවතින Ubuntu, Linux Mint, Parrot Security වගේ ඕනෑම Linux නිපයුමකම Zoom install කරන්න පුළුවන්.
Zoom කියන්නේ මොකක්ද?
Zoom කියන්නේ cloud තාක්ෂණය මත ක්‍රියාත්මක වෙන වීඩියෝ සන්නිවේදන සේවාවක්. මෙය virtual video සහ audio conferencing, live chats, webinars, screen-sharing මෙන්ම තවත් පහසුකම් රැසකින් සමන්විත වෙනවා. Zoom මඟින් meeting එකකට join වෙන්න ගිණුමක් තිබීම අත්‍යාවශ්‍යම නැහැ. ඒ වගේම අපි ඉහත කී ලෙස ඉතා පහසුවෙන් ඕනෑම උපාංගයක ඕනෑම මෙහෙයුම් පද්ධතියක මේ Zoom හොඳට ක්‍රියාත්මක වෙනවා.
Cisco සමාගමේ හිටපු විධායක නිලධාරී Eric Yuan තමයි 2011 දී Zoom නිර්මාණය කරනු ලැබුවේ. Cisco සමාගමේ වීඩියෝ සම්මන්ත්රණ සේවාව වන අදටත් භාවිතා කරන WebEx සමඟ Yuan නිර්මාණය කරපු Zoom ඉතා හොඳ තරඟයක් දෙමින් මෙම සේවාව ආරම්භ කර 2013 වර්ෂ අවසාන වනවිට මිලියන ගණනක පාරිභෝගික සංඛ්‍යාවක් එකතු වුණා.
Zoom සමාගමට 2017 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක වටිනාකමක් ඇති වූ අතර 2019 වනවිට ලොව පුරා වඩාත් ප්‍රචලිත වී වීඩියෝ සම්මන්ත්රණ සේවා අතර වඩාත් ජනප්‍රිය සන්නාමය බවට පත් වුණා. වර්තමානය වනවිට වීඩියෝ සම්මන්ත්රණ සේවා අතර ප්‍රචලිත Skype සහ Google Hangout වලටත් වඩා Zoom ජනප්‍රියත්වයක් උසුලනවා.
Zoom වල ඇති ප්‍රධාන features
පහතින් දැක්වෙන්නේ Zoom සේවාවේ ඇති ප්‍රධාන features කිහිපයකි.
- One-on-one meetings
- Group video conferences
- Recoding
- Screen sharing
- Change Your Background
One-on-one meetings – Free සේවාව තුළ පවා මෙම ඇති මෙමඟින් සීමාවක් නැතිව One-on-one meetings පැවැත්විය හැකිය.
Group video conferences – මුදල් ගෙවීමෙන් එකවර meeting එකකට සහභාගී වන්නන් 500ක් සම්බන්ධ කරගත හැකි අතර free සේවාව හරහා විනාඩි 40ක කාලයකට 100ක් දෙනා meeting එකකට සම්බන්ධ කරගැනීමට හැකිය.
Recording – Zoom මඟින් පවත්වනු ලබන meetings සහ events record කරගැනීමට හැකියාව ඇත.
Screen Sharing – Zoom හරහා කුඩා කණ්ඩායම් ලෙස one-on-one ලෙස එකිනෙකා හමුවිය හැකි අතර සියල්ලටම පෙනෙන ලෙස අපගේ උපාංගයේ තිරය share කරගත හැකිය.
Change Your Background – ඔබට රැස්වීම පවත්වන ස්ථානයේ green screen එකක් නොමැතිව වුවද අවට වටපිටාව පින්තූරයක් යොදා background එක වෙනස් කළ හැකිය.
Kali Linux වල Zoom Install කිරීම
දැන් එහෙනම් අපි බලමු කොහොමද අපේ Linux වලට Zoom ස්ථාපනය කරන්නේ කියලා. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
පියවර 1 – පළමුවෙන්ම අපි Kali Linux terminal එක open කරලා පහත සඳහන් command එක ලබාදෙන්න ඕන.
Wget https://zoom.us/client/latest/zoom_amd64.deb
එවිට Zoom මෘදුකාංගය අපිට download කරගන්න පුළුවන්. එය පහත ආකාරයට නිරූපණය කරනවා.
අපිට දැන් අපි වැඩ කරන directory එකේ ‘zoom_amd64.deb’ කියන file එක ලැබිලා තියෙන්නේ. මේක තමයි අපි install කරන්න ඕන software package එක.
පියවර 2 – දැන් අපි එය install කරගන්න පහත සඳහන් command එක ලබාදෙන්න ඕන.
Sudo apt install ./zoom_amd64.deb
එවිට ඔබට ඉහත විධානයට අදාළ ප්‍රතිදානය පහත ආකාරයට දැකගන්න ලැබේවි.
පියවර 3 – අපි Zoom install කරලා තිබුනත් ඉහලින් සඳහන් වෙන message එකම ඇවිල්ලා නැවත Zoom install වීම සිදුවේවි.
එසේනම් දැන් අපිට පහසුවෙන්ම install කරපු Zoom, අපේ පරිගණක පද්ධතිය තුළින් open කරගන්න පුළුවන්. Zoom අපගේ application menu එකෙන් සොයාගත හැකිය.
ඒ වගේම ඔබට අවශ්‍ය නම් terminal එකේ “zoom” ලෙස type කිරීමෙන්ද Zoom open කරගන්න පුළුවන්.
Kali Linux වලින් Zoom ඉවත් කිරීම
අපි දැන් දන්නවා අපේ පරිගණකයට කොහොමද Zoom install කරගන්නේ කියලා. එහෙනම් දැන් අපි බලමු කොහොමද Zoom මෘදුකාංගය අනවශ්‍ය නම් ඉවත් කරගන්නේ කියලා.
මේ සඳහා අපිට Kali Linux හි terminal එකේ පහත සඳහන් command එක type කරන්න වෙනවා.
Sudo apt remove zoom -y
ඔබට ඉහත දැක්වෙන ආකාරයට අපගේ Kali Linux පද්ධතියෙන් Zoom ඉවත කළ බව, ඒ කියන්නේ uninstall වී ඇති බව දැකගන්න පුළුවන්. දැන් එසේනම් ඔබ දන්නවා කොහොමද Kali Linux වලට Zoom install කරන්නේ කියලා සහ එය uninstall කරන්නේ කියලා.